Monday, July 23, 2012

පශ්චාත් Z කලමනාකරණය

රටක මිනිසුන්ගෙ හැකියාවන් මැනීමට විවිධ මිනුම් දඩු එම රටේ උගතුන් විසින් සකසා ඇත.අප ඊනියා සමානත්වයක් ගැන කෙතරම් කතා කළද සමාජයේ ස්ථර ලෙස අපි වෙන්වී ජීවත් වන්නෙමු.මෙසේ බෙදී යාම ඒ ඒ මිනුම් දඩුවලට සාපේක්ෂ වේ.අප රටේ විභාග යනු ද එවැනි මැනීම සදහා යොදාගන්නා ක්‍රමයකි.විභාගයක් සමත් වීම හෝ නොවීම එක් අතකට ද්වීකෝටික ප්‍රස්තුතයකි.එහිදී එක්කෝ සමත් වීම සිදුවේ,නැතිනම් අසමත් වීම සිදුවේ.විභාගයකට යන අප දැන සිටියේ මෙය ය.  (යමෙක් එකවර සමත් වී හා නොවී සිටිය හැකිය එය වෙනත් අවස්ථාවකි අපි මෙහිදී එය මදකට නොසළකා හරිමු.)ප්‍රථිඵල නිකුත් වීමෙන් පසු අපි pass ද fail ද යන වග හරියටම දැන ගතිමු.උසස් පෙළ යනු ද එවැනි විභාගයකි.එහිදී pass හෝ fail යන්නට වඩා වැඩි යමක් අපට දැනුම් දෙනු ලබයි.ඒ ඊනියා දුප්පත් රටක් වූ අප රටේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට අදාළ Z අගයයි.මෙය සoඛ්‍යාන විද්‍යාවට අදාළ කටයුත්තකි(ගණිතය ගැන අපට වඩා දන්නා අය ඉන්නා නිසා එය ව්‍යුත්පන්න කරගන්නා අයුරු මෙහිදී සදහන් නොකරමු )එමෙන්ම එය එතරම් ලොකු වැඩක්ද නොවේ.කෙසේ හෝ අපේ රටේ පණ්ඩිතයෝ මේ කටයුතු සිදු කරති.අවසානයේ ප්‍රතිඵල ද නිකුත් කරති.2011 ද උසස් පෙළ පැවැත්වූ අතර හිතුවාටත් වඩා ඉක්මනින් ප්‍රතිඵල ද නිකුත් විය.ඒ අපේ කතාවේ ආරම්භයයි.කතාව රසවත් වන්නේ මීට පසුවය.2011 A/L ප්‍රතිඵල ඉතා ලස්සන ය.හයිසෙන්බර්ග් ගේ අවිනිශ්චිතතා මූළධර්මය මෙන් එම ප්‍රතිඵල වල දිස්ත්‍රික් කුසලතාව සහ සමස්ත දිවයිනේ කුසලතාව එක් අපේක්ෂකයෙක් සදහා එකවර දැනගත නොහැකි විය.එනම් සoගතව අප දන්නා ගණිතයෙන් එහි rankings පුරෝකථනය කළ නොහැකි විය.ඇතැම් විට එය සම්භාව්ය විභාගයක්(classical exam) නොවන්නට ඇත,අපි එය නොදනිමු.යමෙකු ගේ දිවයිනේ කුසලතාව 12 වනවිට ඔහු අදාළ දිස්ත්‍රික්කයේ 150 වෙනියාය(උදාහරණයක් පමණි ).එය ආශ්චර්යයකි.


එහෙත් එය ක්වන්ටම් වර්ගයේ විභායක් නොවූ බව පසුව අපි දැනගත්තෙමු.ඒ ප්‍රතිඵල "මෙව්වා" කිරීමට යාමේදී විෂය නිර්දේශ 2ක් තිබූ නිසා අවුල් වූ බව බොහෝ අය පිළිගත් නිසාත් සුපුරුදු පරිදි එහි අවුලක් නැති බව සම'හරක්' අය කිවූ නිසාත් ය.( http://www.youtube.com/watch?v=tCkBFhwEntQ ).මේ සියල්ල සිදුවීමෙන් පසු යළිත් ප්‍රථිඵල නිකුත් කරන ලදි(එය සිදුකළේ අධිකරණ නියෝගයක් මත බවද අපි අමතක නොකරමු ) අපේ කතාවේ උච්ච අවස්ථාව එන්නේ මෙතනදී ය.
බොළද ආදර කතා පොත් වල අනන්තවත් හිත් රිදවීම් අප කියවා ඇත.ඒවායේ හිත් රිදෙන්නේ පාවා දීම් හා රැවටීම් වලටය.මේ ප්‍රතිඵල වල ඇත්තේ ජාතික මට්ටමේ රැවටීමකි,මහා පරිමාණ හිත් රිදවීමකි.එයද ආශ්චර්යයකි. මාසයකට පෙර ඉන්ජිනේරු/නීති/eවෙද්‍ය/කළමනාකරණ සිසුවෙක් වීමට සිහින මැවූ අය දැන් යළිත් උ.පෙ. කරන්නට සූදානම් විය යුතුව ඇත.නැතහොත් ඉක්මනට කුමක් හෝ දෙයක් කළ යුතුව ඇත(එය කුමක්දැයි කීමට අපි නොදනිමු,අපේ කෝපයට සහ දුකට හේතුවද එයම ය ).ඒ ඔවුන්ට අළුත් ඇම්මක් ආ නිසා නොවේය,රාජකීය ඇමක් කෑමට ඔවුන්ට සිදුවූ නිසාය.ඔවුන්ගේ සිහින බොදවූ නිසාය.මේ ප්‍රතිඵල එහෙම්පිටිම්ම අච්චාරුවක් වූ නිසාය.ගමේ මිනිසුන්ට මුහුණ දීමට දැන් අපහසු නිසාය.දැන් ඔවුන්ට දැනෙන දුක,කළකිරීම,වේදනාව,බලාපොරොත්තු කඩවීම,විශාදය,ආතතිය අපට ද හොදින් වැටහේ යැයි කීමට තරම් අපි බොරු නොකියමු.




අපට අපේම මල්ලිලාට නoගිලාට වූ වරදක් මෙන් දැඩි වේදනාවක් දැනටමත් ඇතිවී තිබේ,නමුත් ඔවුන්ගේ වේදනාව ඊටත් වඩා ගොඩාක් වැඩි බව අපට තෙරේ,එය සැබෑවකි. දැන් කරන්නට ඇත්තේ එකම එක දෙයකි.එනම් මෙයට විරුද්ධව නැගී සිටීමය.ඒ මල්ලිලා නoගිලා තනිවී නොමැති බව දැනුම් දීමය.
මා මෙන්ම මෙවැනි සටහන් තබන අය බොහෝ සිටිති,අපි සැවොම බලාපොරොත්තුවන එක දෙයක් ඇත,එනම් මේ අදහස් වචන වලට සීමා නොවී සැබෑවට ක්‍රියාත්මක කිරීමට හැකිවේවා! යන්නය.මා එක් අයෙක් පමණි නමුත් මා මෙන් බොහෝ අය සිතති,මීට වඩා හොදින් සිතන ක්‍රියාත්මක වන සැබෑ ශිෂ්‍ය නායකයෝ ද සිටිති,මා ඔවුන් සමගය.අප ඔවුන් සමගය.අපට වැරදීමට ඉඩක් නොමැත,අපේ මල්ලිලා නoගිලාට වරදක් වීමට ඉඩක් තැබිය නොහැක.මේ අපේ සිතුවිල්ලයි.
එය ක්‍රියාත්මක වන දිනයේ සැබෑ ආශ්චර්යය සිදුවනු ඇත.

No comments:

Post a Comment