Monday, May 9, 2016

සෙනෙහෙ ලද්දෝ

යන්තමට වැටෙන හීතල වැහිපොද අස්සෙන් රතුපාට කුඩේ යටින් ඇයත් සමග යන ඔහුට අමතක නොවෙන කතාවක් ඇත; ඒ මේ පාර ඔස්සේ , මල් වැට අද්දරින් ගොස් දිය මංකඩ පහුකර පන්සල හා නැවතත් ආපසු කුඩා කඳු ගැටය ඔස්සේ මහගෙදරට එන තෙක්ම මංසලකුණු වලින් ගහණ වූ සුන්දර මතකයකි. ඇවිද ගිය මංමාවත් වෙනස් වී ගොසින්ය, ජීවිතය මෙන්ම ඒ සියල්ලට වෙනස් වීම උරුමය. එහෙත් තවමත් කඳු පන්තිය ට එහායින් අවරගිරෙන් රත් පැහැ ඉරු ගිලගැනෙන හැටි එහෙම ම ය.


"එයා ආසම මේ වෙලාවට අහස බලන්න.. ඊට පස්සේ තරු පිරිච්ච අහස හරියට චිත්‍රයක් වගේ, කවදාවත් මටනං එපා වෙලා නෑ ,හැබැයි එයා නැති උනාට පස්සේ ඒක දිහා බලන්න උවමනාවක් උනෙත් නෑ.." ඔහුත් සමග ආ ගැහැණු ළමයාට හැඟීම් බර ලෙසකින් කියාගෙන ගියේය. "අදනං තරු පේන එකක් නෑ ,වැහි කළුවර ට.." ඇය කිසිවක් ගණන් නොගත්තාක් මෙන් පිළිතුරු දුන්නාය. ඇයගේ අතේ සුදු නෙළුම් මලකි , ටිකෙන් ටික ඇය ඒ මලේ පෙති දිගහරියි. ඒ දෙස බලාසිටි ඔහුට එක දිගට මැවෙන සිතුවම් ගොඩකි; පළමුව පොහොට්ටුව , ටික කලෙකින් සුවඳ පිරුණු මලකි, ඉන්පසු කොහේ හෝ පුදසුනක් මත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පූජා වී පරවී ජරාවී යයි.


"ඔයා හිතන්නේ ඔය මල් පූජා වෙන්න කැමති ඇතිද ? අපි බලෙන් කඩාගෙන ගියාට මලෙන් අහන්නේ නෑ නේ කැමති ද කියලා..?" ඔහු තරමක් දෙගිඩියාවෙන් ඇය දෙස බලාගෙන ඇසුවේය. ඇය ඔහුට ප්‍රතිචාර දැක්වූවේ තරමක් උපහාසයෙනි: "ටිකක් ලූස් කියලා දැනගෙන හිටියා, නට් කේස් එකක් කියලා දන්නේ දැන් නේ". එහෙත් ඔහු අසන කියන සෑම දෙයකම අරුතක් ඇත; ඔහු නෙළුම් මලට උපමා කලේ ගැහැණිය ය, විශේෂයෙන් ඔහුගේ කුඩාකළ ප්‍රේමය වූ ඇය ය. ආරංචියේ හැටියට නම් ඇය ආගිය අතක් නැත, කවුරුන් හෝ සමග පැන ගිය බවක් හැමෝම කියයි.එහෙත් ඇය එතරම් මෝඩ ගැහැණියක් නොවේ , එමෙන්ම ඇයට පැන යාමට තරම් ප්‍රේමවන්තයෙක් සිටියේ ද නැත. නමුත් කාලය විසින් ඒ සියළු කතා පිළිගැනීමට ඔහු පොළඹවා ඇත. තවත් ඇය ගැන නොසිතුවද , මංසලකුණු පසු කර යන හැම වාරයක් පාසා වාන් බිඳගෙන සිතුවිලි දොරේ ගලා යනහැටි ඔහුට නැවැත්විය නොහැක.


කෙමෙන් කෙමෙන් අඳුර වැටෙන්නට වුවේය, කීවත් වාගේම වැහිකලුවරට තරු හැංගිලා ය. ඔහු සමග ආ තම ඤාති සොයුරිය නිවසට ඇරලු ඔහු තම නිවස බලා එළෙසම පිය මැන්නේය. හීන් පොද තරමක් වැරෙන් සැරෙන් කුඩේ වදින ගානට ලොකු වී වැටේ. "වැස්සටත් එයා ආසයි .." ඔහු තමාටම කියාගත්තේය. නොදැනීම ඔහු නිවසට ලං වී තිබුණි. නැවතත් සියල්ල මතකයෙන් අතුගා දැමූ ඔහු ඉස්තොප්පුවෙන් තෙත බරිත කුඩය ඇලකර තබා, ගෙට ඇතුළු විය. ගෙදර ඔහු කැමති ම කොටස මෙවැනි මුස්පේන්තු වෙලාවකට ජීවත් වීමට අගනාම තැනකි. ඔහු එතැනට කැමති අවුරුදු පනහක පමණ සිට මහගෙදර පවත්වාගෙන එන කුඩා පුස්තකාලය එහි තිබූ බැවිනි; තමා පැමිණි වග නිවැසියන්ට ඇඟවූ ඔහු පුස්තකාලයට ගොස් පරණ පොත් අතර අතරමං විය.


ඇටමැස්සා, ගලිවර් සහ ලිලිපුට්ටෝ, යළි උපන්නෙමි, සංයුක්ත නිකාය, යුගාන්තය වැනි පොත් එකින් එක යන්තමින් එහෙ මෙහෙ පෙරළමින් බැලූ ඔහුට පොත් අතර තිබී තවත් කුඩා පොතක් හමුවිය. එය ඔහු කුඩා කළ අකුරු ලියූ අභ්‍යාස පොත් වර්ගයකි. තඩි අකුරු පේළි අසාවෙන් බලමින් සිටි ඔහුට එක්වරම මුතුවන් අකුරුවලින් සටහනක් තැබූ අවසාන පිටුවක් හමුවුවේය. ඔහුගේ මුහුණ මලක් පිපුනාක් මෙනි. ඉතා ප්‍රවේසමෙන් ඔහු එය කියවාගෙන ගියේය. මුල් පේලි දෙක තුන උද්යෝගයෙන් ද , පසුවන්නට තරමක් පුදුමයෙන් ද අවසානයේ දෙගිඩියාවකින් ද ඔහු ලිපිය කියවා නිම කළේ ය.නැවතත් මුල සිට අගට එය කියවූ ඔහු උන් තැනම ගල් ගැසී පොත් රාක්කය ලඟින් තිබුණු ජනේලයෙන් එළිය බලාගත්තේය. දැන් අහස එළිය වැටී තාරකාවෝ දිලී නිවෙති, ඔහුගේ දෑස් අග කඳුලක් රැඳී තිබුණේය. දෙකොපුල් මතින් රූරා වැටුණු කඳුලක් කියවූ සටහන මත වැටිණි; එහි සඳහන් ව තිබුණේ මෙබන්දකි :



"..... අතීතය නමැති ස්ථිර සිතුවම දෙස ඔබ බලාගෙන සිටින බව මම දනිමි. එය අලංකාර මෙන්ම අදහාගත නොහැකි රටාවලින් විචිත්‍රවත්ය. ඔබ හා ගත කල ඔබේ යොවුන් විය ද එළෙසම ය; සුන්දරය. එහෙත් ඔබට තවත් සැඟවිය නොහැකි යමක් ඇත. මා ඔබේ ලෝකයේ වැසියෙක් නොවෙමි, කාලය ඔබ වයසට පත් කළද මා කාලය අතික්‍රමණය කල ජාතියක එක පුරුකක් වෙමි. මා තවත් රැඳී සිටියහොත් අපට වෙන් වීම තවත් අසීරු වනු ඇත.එහෙයින් ඔබට නොකියාම ඔබෙන් වෙන් වී යළිත් චාරිකාවේ යමි. මේ සටහන මා අතීතයේ ගතකළ මොහොතකදී ඔබේ මනසට ඇතුළු වී ඔබේම පොතක තබමි, ඔබ මෙය කියවන විට තේරුම්ගත හැකි තරමේ මුහුකුරාගිය බවක සිටින්නේ යයි සිතමි. ආදරය , අවකාශය සහ කාලය අතික්‍රමණය කළ ධර්මතාවකි ; මා කොහේ හෝ සිට ඔබ වෙත කෙරෙන ආදරය තාරකාවෝ ඔබට ලස්සන රටාවකින් පෙන්නනු ඇත, මා මතක් වන සෑම විටම අසීමිත විශ්වය දෙස බලන්න , කොහේ හෝ සිට ඒ මොහොතේ මා ද ඔබ දෙස ආදරයෙන් බලා සිටිනු ඇත.
මෙයට
නෙළුම් ..........."

No comments:

Post a Comment