Thursday, May 12, 2016

Objects in mirror are closer than they appear

බැහැගෙන යන ඉර වහගෙන ඉන්න වලාකුළු හැන්දෑව මූසල කරනවා, අමාරුවෙන් මිරිකිලා එන කහපාට කිරණ ඒකට තවත් ගුප්ත බවක් එකතු කරනවා. ඔහු ඒ හැන්දෑවේ ජීවිතය හා මරණය වෙන් කරන අඩවියක අතරමං වූවෙක්. " උපත:1990 ඔක්තෝබර් 10.... විපත: 2009 මැයි 11" ,ඔහු බලාගෙන හිටි ස්මාරකයේ සටහන් වුණේ එළෙස. තවත් අඳුර වැටෙන්නට ප්‍රථමයෙන් තම අතේ තිබුණු මල් කළඹ එතැනින් තබා ඔහු පිටවීමේ දොරටුව කරා ඇදෙන්නට විය. "හලෝ ... මිස්ට අපි හම්බෙලා තියෙනවා නේද ? " කවුරුන් හෝ ඔහුට පිටුපසින් සිට අමතන්නට විය.

දින කිහිපයක සිට තමාට මෙවන් ආගන්තුකයින් රැසක් හමු වූ බව සිහිකරමින් ඔහු , අමතන්නාගේ මුහුණ දෙස හොඳින් බැලුවේය."ම්ම්..සමාවෙන්න මට එහෙම මතකයක් නම් නෑ .. මට පරක්කු වෙනවා මහත්මයා , එහෙනං යන්නම් " සැබවින්ම ඔහු කවුදැයි කිසිම මතකයක් නොවුවෙන් තම පය ඉක්මන් කරමින් වාහනය දෙසට ඇවිද ගියේය. "ඇයි , ගිහිං එන්න අදහසක් නැද්ද ? " තරමක අවඥාසහගත ස්වරූපයක් නාදුනන පුද්ගලයාගේ කතාවේ ගැබ්ව තිබිණි. එහෙත් ඔහු පිළිතුරු දීමට නැවතුණේ නැත, "කාලකන්ණි හොරු ,මොක්කුද කවුද දන්නේ .." තමන්ට ම කියාගනිමින් ඔහු වාහනයට ගොඩ විය; එන්ජිම පණ ගන්වා පැති කණ්ණාඩියෙන් පිටුපස බැලූ ඔහුට පිටුපසින් පිහිටි සුසාන භූමියේ ස්මාරක රැසක් පමණක් පෙනිණි. නැවතත් ඉදිරිය බලන්නට හැරුණු ඔහුට අවසාන ලෙස කණ්ණාඩියේ තිබෙන වැකිය යළිත් මනසේ මැවී පෙනිණි- "objects in the mirror are closer than they appear".
"දැන්නම් කියන්න එපා මාව දන්නේ නෑ කියලා මිස්ට..." එකවරම පිටුපස අසුන දෙසින් ඇහුනු දෙයින් ඔහුගේ සර්වාංගය ගල් ගැසී ගියේය; ඉදිරියේ කිසිම වහනයක් නොතිබීම සහ කෙළින් පාර නිසා හදිසි තිගැස්ම අනතුරකින් කෙළවර නොවීය. "මොන හු****..තමුසේ කොහොමද මේකට රිංගුවේ.." දැඩි ස්වරයකින් අමතමින් වාහනයේ තිරිංග ඔහු තද කළේය; එතැනම කන් බීරී කරවන ශබ්දයකින් එය නතර විය. ඔහු ආපසු හැරී බැලුවේය. එහෙත් වාහනයේ කිසිවෙකු නොවීය ,නැවත ඉදිරිපස බලා කණ්ණාඩියෙන් පිටුපස ආසනය බැලූ විට , දුටු දෙය ඔහුට අදහාගත නොහැකි විය; පෙර හමුවූ පුද්ගලයා යුධ හමුදා ඇඳුමකින් සැරසී ඔහු පිටුපස ඉඳ සිටී ,එහෙත් ඔහුව පෙනුනේ කන්නාඩියෙන් පමණි.

"මට වැඩි වෙලා තිබුණේ නෑ මහත්මයා, එදා වගේම අදත් මට වැඩි වෙලා නෑ; ඔබේ මල්ලී හරිම නිර්භීත සෙබලෙක් , ඔහු වීරයෙක් වගේ පුදුමාතලන් වලදී දිවි දුන්නා එදා...අන්තිම පැය කීපය ගෙවුණේ ..." අගක් මුලක් නැතිව දිග කතාවක් අරඹා නාදුනන සෙබලා මදක් නතරවිණි. "ඔයා මගේ මල්ලිව දන්නවා ද ? එයා අන්තිමට කතා කළාද ඔයාට ?" ඔහුට කිසිවක් අදහා ගත නොහැකි වුවද දැනගත හැකි යමක් වේ නම් මේ එයට අවස්ථාව නිසා භිය පසෙකලා ඔහු විමසුවේය. "එයා නැතිවෙනකොටත් මං මැරිලා මහත්මයා, එයා තනියෙම ටාගට් එක පස්සේ ගියා, ඔබ නොදන්නවා උනාට මමයි ඔහුයි දෙන්නම හමුදා බුද්ධි අංශයේ, අපි ඒ වෙලාවෙත් හිටියේ සතුරු කලාපයක ප්‍රධාන ඉලක්කයක් පස්සෙන්, ඒත් අපේ කවුරුහරි අපිව පාවලා දුන්නා, මට මතක අපිව ඇම්බුෂ් එකකට අහුවුණා විතරයි, ඊට පස්සේ මං දැක්කේ ඔයාගේ මල්ලී ටාගට්ටාගට් එක ලෝකෙට් කරලා මිෂන් කම්ප්ලිට් කරනවා.. හැබැයි ඔහුවත් මැරුවා... මැරුවේ අපේම කෙනක්"

ඔහුගේ මුහුණෙන් හීන් දාඩිය ගලා ගියේය.භූතයෙක් සමග කතාකිරීම එකකි; මල්ලිගේ යාළුවෙක් සමග කතාකිරීම තවත් එකකි; ඒ සියල්ලටම වඩා සංකීර්ණ දිවිදුන් හමුදා බුද්ධි නිලධාරියෙක් සමග කතා කිරීමය. "දැන් ඔයාට ඕනි පාවා දුන්න කෙනාව අල්ලා දෙන්න මගෙන් උදව් ගන්නද? " සාමාන්‍යයෙන් කතාවල සිද්ධ වන්නේ මෙබන්දක් නිසා ඔහු වැඩි දෙයක් නොඅසා විමසුවේය. "දැන් මගේ වෛරයක් නෑ මහත්මයා .. ජීවත්වෙන මිනිස්සු කරපු දේවල් මට වැඩක්වැඩක් නෑ , මහත්මයා හැමදාම මල්ලි නැතිඋන දවසේ ඇවිත් යනවා මං බලාගෙන ඉඳලා මෙහෙම කතා කරන්න ආවේ , මගේ පවුලේ අම්මයි නංගියි විතරයි , ඒ දෙන්නම තාම දන්නේ නෑ මං මැරිලා කියලා...මහත්මයා මට එක උදව්වක් කරන්න, මං ඔයාගේ වීදුරුවේ ලියපු අංකෙට කතාකරලා කියන්න, මං මැරුණා කියලා.." අවසාන වාක්‍ය ඉවර කරන්නට ඔහුට හැකියාවක් නොවූ බව පෙනිණි, කෙමෙන් ඔහුගේ හඬ මැකී ගියේය. වහා පිටුපස හැරී බැලූ ඔහුට පෙනුණේ වීදුරුව මත සටහන් වී ඇති airtel අංකයකි.

No comments:

Post a Comment