Thursday, May 12, 2016

Into the darkness

වෙලාව හරියටම කොහෙවත් නොපෙනුණත් , මේ හරිම වෙලාව බව තේරුණු නිසාමද කොහෙද අනුහස් තමන් අවුරුදු ගානක් නිදාගත්තු තමන්ගේ ඇඳ දිහා බලාගෙන සිටියේය.. මේ බිත්ති හතර ඇතුලේ මොන තරම් දේවල් සිදුවීද? ජීවිතය හරියට මේ බිත්ති හතරට ප්‍රක්ෂේපනය උනු චිත්‍රපටියක් වගේ, හතර පැත්තෙන්ම ජීවිතය; ඒ මැද අනුහස්.

"ඉක්මණට එන්න අනුහස්..", සාත්තු සේවිකාව , ජෙනිෆර් , සුපුරුදු ලෙන්ගතුකමින් ඔහුට කතා කළාය. "හොඳමයි ජෙනි , මිනිත්තුවක් දෙන්න ..", කියන අනුහස් තමන්ට පමණක් ඇසෙන සේ කුමක්ද යමක් මුමුණයි, ඒත් සමගම ආපහු ජෙනි දෙසට හැරී "එහෙනං අපි යමු", යයි පවසයි. ඔහුගේ ස්වරයේ රැඳී තිබෙන්නේ බලාපොරොත්තු රහිත සංවේගයක්.

මීට වසර කිහිපයකට පෙර "සහන" මානසික රෝහලට පැමිණි පුද්ගලයාට හාත් පසින්ම වෙනස් වූ බොහෝ නිවුණු මිනිසෙකු ලෙස අනුහස් රෝහලේ ප්‍රධාන දොරටුවෙන් එළියට බහින්නේ රෝහලේදී ඔහුගේ හොඳම මිතුරා වූ සංකල්ප සමගින් ය. "මචං අපි දැන් මොකද කරන්නේ , උඹට යන්න තැනක් තියෙනවද ?" අනුහස් , සංකල්පගෙන් ඇසුවේ , රෝහලේ දී මිත්‍රකම ඇතිවූවත් සංකල්ප ගේ වෙනත් විස්තරයක් ඔහු නොදත් බැවිනි. සැබවින්ම ඔවුන් මිතුරන් වුවේ දෙදෙනාටම එකම මානසික අසමබරතාව තිබූ නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.

"ඉඳපන් මං දන්න තැනක් තියෙනවා , වැව් තාවුල්ල අද්දර පරණ තානායමක් , දැන් ඒක ජරා ජීර්ණය වෙලා තියෙන්නේ , මං රිලීස් උනේ ගිය සතියේ නිසා මට එතනට ගිහිං විස්තරේ බලාගන්න චාන්ස් එකක් ආවා, මම ඉන්නේ එහෙ , උඹටත් එක්ක මං කාමර බුක් කරලා තියෙන්නේ මාසෙකට , ප්‍රශ්නයක් නැතිව ඉන්න පුළුවන්", සංකල්ප කියත්ම අනුහස් ගේ මුවේ නැගුනේ සිනාවක්. සංකල්ප මීට සතියකට පමණ පෙර හදිසියේම රෝහලෙන් පිට කෙරුණේ ඔහුගේ මානසික සෞඛ්‍ය තත්වය යහපත් වූ නිසාවෙනි, එය තදින්ම බලපෑවේ අනුහස් ට ය එහෙත් කුමක් හෝ වාසනාවකට අනුහස් ට ද ඉක්මනටම සුව වීමට හැකි වූ නිසා සංකල්ප සමග දිගටම සිටීමේ හැකියාව ඔහුට ලැබිණි , එය දෛවෝපගත සිදුවීමක් ලෙසටයි අනුහස් සිතුවේ.

ඔවුන් සවස් වන්නට මත්තෙන් අදාළ තැනට ලඟා විය. කුමක්දෝ සුපුරුදු කමක් වටපිටාවේ ඇති බව දැනුණු බැවින් අනුහස් තම සගයාට ඒ බව දැන්වීය. "මචං , ඇත්තම කතාව කීවොත් මට නිකං මෙහෙ කළින් ඉඳල තියනවා වගේ මතකයි." "එහෙම වෙන්නේ කොහොමද බං , උඹ හොස්පිටල් එකට ගේනකොටත් මං හිටියේ හොස්පිටල් එකේ , උඹට ගේනකොටත් මෙලෝහසරක මතකයක් නෑ, අනික උඹට දැනුත් මොකුත් මතක නෑනේ , උඹේ නමවත් මතකද ?", සංකල්ප කිවේය ; එය සැබෑය, අනුහස් යනු රෝහලෙන් ඔහුට දුන් නමකි. ඔහුට ඔහු පිලිබඳ කිසිම දෙයක් මේ වනතුරුත් මතක තිබුණේ නැත.

කෙමෙන් කෙමෙන් අන්ධකාරය පරිසරය වෙළාගෙන සඳ අහස ඉස්මත්තේ රජ විය. මිතුරා කුමක් කීවද , අනුහස්ගේ හිත යටින් කුමක් හෝ ප්‍රභල මතකයක් ඇවිස්සෙන්නට විය. ඒ මතකය ප්‍රභල ය, එහෙත් ඇවිස්සෙන වාරයක් පාසා ඔහුට ඉන් මිදීමට වුවමනා ය. අවුරුදු ගණනක් තමා කවුදැයි නොදැන සිටි ඔහුට දැන් ඔහුව දැනෙන්නට පටන් ගෙන තිබේ. මේ හැඟීමෙන් මිදිය යුතුය. එසේ සිතූ අනුහස් තානායමේ උඩු මහලේ පිහිටි බැල්කනිය මත සිට හඳ එළියට දිළිසෙන වැව දිහා බලා ඉන්නට විය.

"ලස්සනයි නේද , මහත්තයා .. ඒ වුණාට ඉතිං හැම ලස්සන දේකම තියෙන්නේ භයානක අතීතයක් " තානායමේ සිටි එකම සේවකයා වූ මහතුන් අනුහස් ළඟට විත් පැවසීය. "මොකක්ද ලොකු උන්නැහේ ඒ කතාවේ තේරුම ? " , අලි මදිවට කොටි මෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න නැගෙන්නට වූවත් අනුහස් මුවින් පිට කලේ ඒ ප්‍රශ්නය පමණි. "මහත්තයෝ මේ තානායම හදල තියෙන ගොඩනැගිල්ල, මීට අවුරුදු දහයකට උඩදී පවුලක් ජීවත් වුණු ගෙදරක් ඒ පවුලේ දරුවෝ සේරම ඔන්න ඔය වැවට දාල තියෙනවා,ගිලෙන්න.. අනේ අප්පොච්චියේ මං නම් ඔය වැව දිහා බලන්නෙත් බොහොම හිතේ අමාරුවෙන්..දරුවන්ගේ අම්මා මේ බැල්කනියෙන්ම පැනලා සියදිවි හානි කරගෙන තියෙන්නේ"

No comments:

Post a Comment